• .
  • .
  • .
  • .
  • .
  • .

ඓතිහාසික කසාගල රජ මහා විහාරය

 

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් කසාගල රජ මහා විහාරය රන්න වීරකැටිය මහා මාර්ගයේ රන්න හන්දියේ සිට කි.මි.9.6ක්  පමණ දුරින් පිහිටා ඇත. අනුරාධපුර යුගයේ සිට ඉදිවී ඇති මෙම විහාරස්ථානය රාජ රාජ මහාමාත්‍යාධීන්ගේ නොමද පැසසුමට හා අනුග‍්‍රයට යොමු වූ සේම විහාරය වෙත අක්කර පන්දහසක පමණ නින්දගම් ලබා දී ඇති බව පවසයි. විහාරයේ නාමය පිළිබඳ නිරුක්ති දක්වන්නන් සඳහන් කරන්නනේ මෙම ආරාමයේ වැඩ හුන් භික්ෂූන් වහන්සේලාගේ සිවුරු වියළීමට  නිතර විහාර භූමියේ ගල් මත එලා තිබූ නිසා ඒ අරුතින් කසාගල වූ බවයි. විහාර භූමියෙහි සෑම තැනම භූගෝලීය වශයෙන් පාෂාණ උද්ගත පිහිටා ඇත. නාම නිරුක්තිය අර්ථ ගැන්වෙන ශිලා ලේඛණයක් ද මෙම විහාර භූමියෙහි වෙයි.

රුහුණේ ගිරුවාපත්තුවට අයත් තංගලු විහාරයට කිරිවෙභෙර විහාරස්ථානයට හා කහඳාව පුරාණ විහාරස්ථානයට ඥාති බවක් ඇකි මෙම විහාර පරිශ‍්‍රය තුළ සිදු කරනු ලද පුරා විද්‍යාත්මක කටයුතු මඟින් ඓතිහාසික අවධි කිහිපයකට අයත් වැදගත් සාධක රැසක් හඳුනාගෙන ඇත. පෞරාණික ස්මාරක සහ ස්ථාන සම්බන්ධ සියළු පුරා විද්‍යාත්මක කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදුකෙරේ.

 

කසාගල රජ මහා විහාරයේ ඓතිහාසිකත්වය

කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවසේ දේවානම් පියතිස්ස රජුගේ අනුග‍්‍රහයෙන් "දෙතිස්එලරුහ" බෝධීන් වහන්සේ රෝපණයෙන් පසු කසාගල විහාරයෙහි මූලාරම්භය සිදුවී ඇති බවට මතයක් පවති. ක‍්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් සෙල්ලිපියක කහගල් විහාරය "කචගල පබ්බත" යනුවෙන් සඳහන් වන අතර, රහතන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ සිටි බවත්, දළදා වහන්සේ වඩා හිඳුවා සිටි බවත්,සඳහන්වේ. කාවන්තිස්ස රජු විසින් (ක‍්‍රිස්තු පූර්ව 200-160) මෙම ස්ථානයෙහි ගොඩනැඟිලි කරවන ලද අතර, ඉන් පසුව 1වන දප්පුල (කි‍්‍රස්තු වර්ෂ 659)හා 1වන විජයබාහු (ක‍්‍රිස්තු වර්ෂ 1055-1110)යන රජ වරුන් විසින් එම ගොඩනැඟිලි ප‍්‍රථිසංස්කරණය කරනු ලැබේ.

කිර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් (ක‍්‍රිස්තු වර්ෂ 1747-1780)මෙම විහාරයට රන් පිළිමන් පරිත්‍යාග කර ඇති අතර මෙම කාලය තුළ දළදා පෙරහැර පවත්වා ඇත. අක්කර එක් දහසක් වූ සුවිශාල නින්දගමක් රජතුමාගෙන් ලැබීම හේතුවෙන් මෙය රජමහා විහාරයක් ලෙස ප‍්‍රසිද්ධිය උසුලයි. රුහුණු නැගෙනහිර ගිරුවාපත්තුවේ පිහිටි මෙම විහාරය අවට ප‍්‍රදේශයේ අනෙකුත් වෙභෙර  විහාර අතුරින් අද්විතිය ස්ථානයක් හිමිවෙයි. සියම් නිකායේ පූජ්‍ය වේහැල්ල ධම්මදින්න හිමියන් වර්තමාන නවෝදයේ නිර්මාතෘ වේ.

 

කසාගල විහාර සිතුවම්

මහනුවර සම්ප‍්‍රදායේ දකුණු ගුරුකුලයට අයත් ශිල්පීන්ගේ අනගි ප‍්‍රකාශනයන්ගෙන් යුක්ත වූ සිතුවම් සහ මූර්ති කසාගල ප‍්‍රතිමා ගෘහයෙහි ප‍්‍රවේශ මණ්ඩපය ප‍්‍රදක්ෂිණා පථය හා ගෘහය යන කොටස් තුනකින් සෑදුණු අවකාශය තුළ දක්නට ලැබේ. දක්ෂිණ ශෛලය සහ සංක‍්‍රාන්තින ශෛලය යන විශේෂ ශෛලීන් දෙකකට අයත් සිතුවම් මෙහිදි හඳුනා ගත හැකිය.

 

මෙහි ප‍්‍රවේශ මණ්ඩපයෙහි ඇති සිතුවම් මඟින් බුදු සිරිත නිරූපණය කෙරේ. දක්ෂිණ සම්ප‍්‍රදායේ සංක‍්‍රාන්තික සිතුවම් ශෛලය නියෝජනය කරන මෙම සිතුවම් වල වර්ණ, රේඛා, හැඩතල භාවිතා කර ඇති ආකාරය අනුව විහාර සිතුවම් පිළිබඳ විස්තරාත්මක සංරචනයක් ඉදිරිපත් කෙරේ. ගර්භ ගෘහය තුළ දක්නට ලැබෙන බුදු පිළිම සහ සිතුවම් ද ප‍්‍රවේශ ද්වාරය සහ ප‍්‍රදක්ෂිණා පථය ආශ‍්‍රිතව දක්නට ලැබෙන ද්වාර පාල මූර්ති, සම්ප‍්‍රදායික සැරසිලි සහ ජාතක කතා සිතුවම් ද මහනුවර සම්ප‍්‍රදායේ දක්ෂිණ ශෛලිය නියෝජනය කරයි. යුරෝපීය සංස්කෘතික ලක්ෂණ සහ නව කලා ශෛලීන්හි ආභාෂය මෙම සිතුවම් වෙත ලැබී ඇත.

 

 


අවසන් යාවත්කාලීන කිරීම : ජූලි 14, 2017