• .
  • .
  • .
  • .
  • .
  • .

හැදින්වීම

 

දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය පිහිටා ඇත. සිංහල රාජ සමය කරා දිවයන අතීතයකට උරුමකම් කියන මෙම බල ප‍්‍රදේශය සොබා දහමින් ලත් අපූර්වත්වයද එක් කරගනිමින් වර්තමානය වන විට ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා ආගමික අංශ වලින් පොහොසත්ව සංවර්ධනයේ ඉලක්ක සපුරා ගනිමින් සිටිනා රටට බත සපයන වී බිස්සක් ලෙස අඟුණකොළපෑලැස්ස පුරවරය හැඳින්විය හැක.

ග‍්‍රාම සේවා වසම් 51කින් සමන්විත මෙම බල ප‍්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මී.173.06ක් වන අතර ජනගහනය 58899කි.      

භෞතික පිහිටීම අනුව මෙම බල ප‍්‍රදේශයේ මුළු මනින්ම වාගේ තැනිතලා ස්වභාවයක් පෙන්නුම් කෙරේ. මෙම බල ප‍්‍රදේශය ශ‍්‍රී ලංකාවේ දකුණු ප‍්‍රදේශයේ වෙරළ බඩ සිට මදක් අභ්‍යන්තරයේ පිහිටා ඇත. පොදුවේ තැනිතලා ප‍්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි වුවද බල ප‍්‍රදේශයේ දකුණු හා බටහිර කොටස් වල බොහෝ දුරට දක්නට ලැබෙන්නේ රැළි බිම් ස්වභාවයකි. උතුරු ප‍්‍රදේශයේ ඇති රැළි බිම් ප‍්‍රදේශය තුළ කුඩා ප‍්‍රමාණයේ කඳුගැට කිහිපයක්ද දක්නට ලැබෙන අතර, අඩි 799ක් උසැති කපරුල්ල කන්ද උසම ස්ථානය වේ.     

රතු දුඹුරු පස් හා දියළු පස ප්‍රදේශයේ ප්‍රධානතම පස් කාණ්ඩ අතරට අයත් වේ. සමහර ප්‍රදේශ වල සුළු වශයෙන් තිරුවනා නිධි දක්නට ලැබේ. සුළු වශයෙන් කළු ගල් නිධි ද  පිහිට ඇති අතර ඒ අනුව තිරුවනා, කළු ගල් හා මැටි මෙහි ඇති ප්‍රධානතම ඛනිජ සම්පත් වේ.

ශුෂ්ක ප්‍රදේශයේ සිට තෙත් කලාපය දක්වා විවිධත්වයක් ගන්නා  දේශගුණික කලාපයකට අයත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ පිහිටි අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය වියලි කලාපීය දේශගුණික රටාවකට උරුමකම් කියයි.

දීප්තිමත් සූර්යලෝකයක් සහිත මෙම ප්‍රදේශයේ වාතයේ ආර්ද්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පවතී. මාර්තු, අප්‍රේල්, අගෝස්තු හා  සැප්තැම්බර් යන මස වල ඉතා තදින් සූර්යාලෝකය පවතින අතර එම මාස වලදී අධික උෂ්ණත්වයක් පවතී. දෙසැම්බර්, ජනවාරි මාසවලදී උෂ්ණත්වය පහල යාමක් දක්නට ලැබේ. ඒ අනුව හිරු රැස් තදින් පතිත වන කාලයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 31.1ක් පමණ වන අතර දෙසැම්බර්, ජනවාරි වන විට එය සෙන්ටිග්‍රේට් අංශක 22.7ක් දක්වා පහල බසී.

අතීතයේ පෙර රජදරුවන්ගේ ඇල්ම බැල්ම මත ඉදි වු ඓතිහාසික සිද්ධස්ථාන බල ප‍්‍රදේශයේ ගැමි ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණු කිරීමට ඉවහල් වී ඇත. ඒ අතුරින් ඓතිහාසික වටිනාකම් වලින් යුත් සිද්ධස්ථාන අතුරින් ප‍්‍රධාන ස්ථානය ගෙන ඇත්තේ බෞද්ධයාගේ මුදුන් මල්කඩක් බඳු දන්ත ධාතූන් වහන්සේ ස්පර්ශය ලද කසාගල රජමහා විහාරයයි. නුවර යුගයට අයත් වන මෙම විහාරස්ථානයේ පැරණි විහාරයේ ඇති බිතු සිතුවම් කෙරෙහි වර්තමානයේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේත් නෙත් සිත් යොමු වී ඇත.

කෘෂිකාර්මික ජීවන රටාවකට හිමිකම් කියන මෙම බල ප‍්‍රදේශයේ වැවයි දාගැබයි කෙතයි කේන්ද්‍ර‍්‍ර කොට ගනිමින් ගම්මාන බිහි වි ඇත. ඒ අනුව ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ වැව් රාශියක් පිහිටා ඇති අතර, සියපතින් සුසැඳි මනරම් වැව් ප‍්‍රදේශයට සෞන්දර්යයත් , සිසිලසත් මෙන්ම කෘෂිකර්මාන්තයේ දියුණුවට ද ඉවහල් වේ. බලප‍්‍රදේශයේ පිහිටි වැව් අතරින් විශාලම වැව මැටිගත්වල වැවයි. එකිනෙක බැඳී තිබු වැව් පද්ධති මඟින් අතීතයේදී කෙත්වතු පෝෂණය කල අතර අඩ සියවසක සිට  වලවේ, මහවැලි ජලය හා මුරුතවෙල ආදී ව්‍යාපර වලින් කෙත්වතු සරු සාර කරනු ලබයි.

අතීතයේ සිටම වී වගාව, හේන් ගොවිතැන ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් ජනතාව එතැකින් සීමා නොවි වෙනත් බෝග වගාවන්ට මෙන්ම සත්ව පාලදනයටද හුරු වී ඇත.

ඒ අනුව පළතුරු වගාව, එළවළු වගාවද මෙම බල ප‍්‍රදේශයේ බහුලව දක්නට ලැබේ. වම්බටු, වැටකොළු, පතෝල, කරවිල, බටු, මිරිස්, බණ්ඩක්කා හා මෑ කරල් ඇතුළු බොහෝ එළවළු වර්ග සහ කෙසෙල්, අඹ, දිවුල්, දෙළුම්, බෙලි,ගස්ලබු  වැනි බොහෝ පළතුරු වර්ගද මෙම ප‍්‍රදේශය තුළ බහුල වේ.

මීට අමතරව රසයෙන් ගුණයෙන් වැඩි මි කිරි නිෂ්පාදනයද තවත් බොහෝ පිරිසකගේ ජිවනෝපාය මාර්ගය වි ඇත.

මෑත කාලය වන විට බොහෝ ජිවන මාර්ග බිහි වී තිබුණද අතිතයේ පැවති කුරහන් සුවඳ ගැමි හදවත් තුල තවමත් බැහැර වී නැත. මෙම ප‍්‍රදේශයේ හේන් ගොවිතැනටද ඇළුම් කරන බොහෝ පිරිසක් වර්ථමානයේද සිටින බැවින් කුරහන්, බඩ ඉරිඟු, තල වැනි ධාන්‍ය වර්ගද බහුලව ඇත.

ස්වයං රැකියාව තම ජීවනෝපාය මාර්ගය කරගත් බොහෝ දෙනා කොහු කර්මාන්තය, ඉදල් කර්මාන්තය වැනි ක්ෂේත‍්‍ර වලද නියැලී සිටී.

තාක්ෂණයේ දියුණුවත් සමඟ අනාගත  ලෝකයට පා නඟන්නට සැරසෙන පුංචි මල් කැකුළු වන් ළමා පරපුර ද අධ්‍යාත්මික ගුණ වගාවෙන් හා අධ්‍යාපන , සෞන්දර්යය, ක‍්‍රීඩා කෞශල්‍ය වලින් පරිපූර්ණ වීම බල ප‍්‍රදේශයේ භාග්‍යකි.

සොබා දහමේ ආශිර්වාදයත් සමඟ ලත් සොබා සෞන්දර්යය හා සිසිලසත්, ගොවියාගේ දහදියත් මුසුව භෙට දිනයේ අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය සශ්‍රීකත්වයෙන් හා සංවර්ධනයෙන් ඉදිරියට යනු නොවනුමානය.

 

 

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මුලික තොරතුරු

 
 

 

 

 

 

 

 

 

 

 

දිස්ත්‍රීක්කය හම්බන්තොට
 මැතිවරණ කොට්ඨාශය     තංගල්ල
පළාත් පාලන ආයතනය අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව
කුඩා ගම්මාන   108
ග්‍රාම නිලධාරී වසම්     51
විශාලත්වය   වර්ග කිලෝ මීටර් 173.06
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර්  50 – 75
වාර්ෂික උෂ්ණත්වය           සෙල්සියස් අංශක 26 -31
පොලිස් බල ප්‍රදේශ   අඟුණකොළපෑලැස්ස, මිද්දෙනිය, වීරකැටිය, හුංගම
ගොවිජන කේන්ද්‍ර     අඟුණකොළපෑලැස්ස, උඩයාල
රෝහල්           අඟුණකොළපෑලැස්ස, කාරියමඩිත්ත, හකුරුවෙල
මධ්‍යම බෙහෙත් ශාලා අබේසේකරගම
පාසල්              23
පෙර පාසල්             40
දහම් පාසල්     30
විහාරස්ථාන        36
හදිසි මරණ පරීක්ෂක කොට්ඨාශ     2
බැංකු         10
තැපැල් කාර්යාල    04
ප්‍රජාශාලා     68
ක්‍රීඩා පිටි        26
වැව්    105

 

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023