• .
  • .
  • .
  • .
  • .
  • .

පිළිසරු ව්‍යාපෘතිය

හැදින්වීම

පිළිසරු යන වචනයේ අර්ථයෙන්ම ප්‍රතිසර නැතහොත් නැවත සරු තත්වයට ගෙන ඒම මෙම වැඩසටහන මඟින් අරමුණු කෙරේ. ඉවතලන කැළි කසළ හැකිතාක් දුරට නැවත ප්‍රයෝජනයට හෙවත් සාරවත් බවට යොමු කොට අවසාන බැහැරලීම සඳහා යොමු වීමට සිදුවන කොටස පමණක් ඒ සඳහා යොමු කිරීම මින් අදහස් කෙරේ.

 

වර්තමානයේ සෑම නාගරික ප්‍රදේශයකම පාහේ කසල බැහැර කිරීම උග්‍ර පාරිසරික ගැටළුවක් බවට පත්වී ඇත. එදිනෙදා භාවිතයේදී කසළ ලෙස බැහැර කරනු ලබන්නේ නැවත ප්‍රයෝජනයට ගතහැකි වටිනා කමක් සහිත සම්පත් රාශියක් බව අප අමතක කර ඇත. මේ අයුරින් කසළ ලෙස බැහැර කරනු ලබන ද්‍රව්‍ය වලින් මුදල් ඉපයීමත්, ඒවා  නැවත ප්‍රයෝජනයට ගතහැකි ලෙස ප්‍රතිසර ද්‍රව්‍ය බවට පත් කිරීමත් පිළිසරු වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

 

කසළවල නොදිරන හා දිරන ද්‍රව්‍ය විවිධ ප්‍රතිශතයන්ගෙන් සමන්විත වේ. දිරන ද්‍රව්‍යයන් ක්ෂුද්‍ර ජිවි ක්‍රියාකාරිත්වය නිසා ජිර්ණයට පත්වන අතර නොදිරන ද්‍රව්‍යයන් නවීන විද්‍යත්මක ක්‍රම උපයෝගි කරගෙන නැවත නැවත ප්‍රයෝජනයට ගත හැක. එනම් ඊට ජිව විද්‍යත්මක මුහුණුවරක් මෙන්ම තාක්ෂණික මුහුණුවරක් පවතින බව මනාව පිළිබිඹු වේ. එනම් කසළවලට පවත්නා පාරසරික හා සමාජිය මුහුණුවරත්, ජිව විද්‍යත්මක හා තාක්ෂණික මුහුණුවරත් මනාව සංකලණය කරමින් ඊට ආර්ථික මුහුණුවරක් ලබාදිමට හැකිය.

 

ඒ අනුව සුපිරිසිදු පරිසරයක් හා ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්වය උදෙසා අඟුණකොලපැලැස්ස නගරයට  දැවෙන ප්‍රශ්නයක්ව පැවති කසළ සඳහා තිරසාර විසදුමක් ලබා දෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ මුල්‍ය දායකත්වය හා මග පෙන්වීම මත පිළිසරු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය 2009 වර්ෂයේදී අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාව විසින් ආරම්භ කරන ලදී.

 

පිළිසරු ව්‍යාපෘතිය මඟින් කෙරෙන කාර්යයන්

 

  • කසළ වෙන් කිරීම
  • දිරාපත් වන කසළ උපයෝගි කර ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය
 
  • නොදිරන කසළ (කාඩ්බෝඩ්, ප්ලාස්ටික්, පොලිතින් හා වීදුරු වැනි) වෙන් වෙන්ව ප‍්‍රතිචක‍්‍රීකරණයට යොමු කරවීම
 
  • කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් පසු ඉතිරි වන හා ප‍්‍රතිචක‍්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍ය අවසාන බැහැර ලිම සඳහා  සනීපාරක්ෂක බිම් පිරවීමේ ක්‍රමයට භාජනය කිරීම

 

කසළ වෙන් කිරීමේ ප‍්‍රයෝජන

 

  • අවසන් බැහැරලිම කළයුතු කසළවල ප‍්‍රමාණය අඩුවේ. එමඟින් කසළ අවසන් බැහැරලීම සිදු කරන භූමිවල ආයු කාලය වැඩි කර ගත හැකිය.
  • ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ඒ සඳහා යොමුකිරීම මඟින් අමතර ආදායමක් උපදවා ගත හැකිය.
  • කසළ වෙන්කිරීම තුළින් කෙටිකාලීනව දිරාපත් වන කසළ උපයෝගි කරගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය වැනි ක‍්‍රමවේදයන් හරහා ආර්ථික ලාභයක් ලබා ගත හැකිය.
  • බාහිර පරිසරයට නිදහස් වන කඩදාසි, පොළිතීන්, ප්ලාස්ටික්, යකඩ, ටින් කැබළි වැනි ද්‍රව්‍ය අඩුවීම නිසා පාරිසරික ගැටළු අවමවේ.
  • කොම්පෝස්ට් නිපදවීම

 

 

2010 වර්ෂයේදී කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ආරම්භ කළ අතර වර්තමානය වනවිට කොම්පෝස්ට් නිපදවීම හා අලෙවිය සිදුකරගෙන යනු ලබයි.

අඟුණකොලපැලැස්ස සතිපොළ හා නගරය අවට දිනකට ඒකරාශී වන කසල ප්‍රමාණය ටොන් 1 – 1 1/2 ක් පමණ වේ. දිනපතා එකතු කරන ලද කසළවලින් දිරාපත්වන කාබනික කොටස් එකතු කර ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් නිෂ්පාදනය සිදු කරනු ලබයි. දිරන  කසළ ගොඩවල් ආකාරයට සාදා  අනතුරුව සතියකට වරක් පෙරලමින් කාබනික පොහොර තත්වයට පත් කර ගනී. මෙම ක්‍රියාවලිය සදහා මාස 2 1/2ක් 3ක් වැනි කාලයක් ගතවන අතර, පොහොර වූ පසු හලර් යන්ත්‍රය මගින් හලා ගැනීම කරනු ලබයි.

 

අලෙවි කරන ලද කොම්පෝස්ට් ප්‍රමාණය සහ ලැබූ ආදායම

 

වර්ෂය

අලෙවි කරන ලද පොහොර ප්‍රමාණය (kg)

ලැබූ ආදායම   රුපියල්

2011

761

3364.00

2012

3566

25906.00

නොදිරන කසළවලට සිදුවන්නේ කුමක්ද

 

පොලිතීන්, ප්ලාස්ටික් පිළිස්සීම මඟින් මිනිසාට ඉතාමත් අහිතකර වායූන් නිපදවෙන අතර, මෙය දිගු කාලයක් වායු ගෝලයේ රැඳී තිබිම හේතුවෙන් මිනිස් සිරුර තුළට ඇතුලු විම නිසා දරුණු රෝග වලට ගොදුරු වේ. එබැවින් කැළි කසලවලට වඩාත් ප‍්‍රායෝගික හා එලාදායී විසඳුමක් ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය සිදු කිරීම ඉතා වැදගත් වේ. එදිනෙදා අප භාවිතා කරන පොලිතීන්, ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, වීදුරු ආදිය නැවත ප‍්‍රයෝජනයට ගත හැකි වටිනාකමක් සහිත සම්පත් වන බැවින් නැවත මුදල් බවට හැරවිමටත්, ප‍්‍රතිචක‍්‍රීකරණය මඟින් නැවත නව භාණ්ඩයක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමටත්  හැකිය.

 

පිළිසරු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ පසු භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ  දායකත්වය මත පරිසරය සුරැකීම හා ජාතික ආර්ථිකයට යම් දායකත්වයක් ලබා දීමේ අරමුණ ඇතිව නොදිරන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් ද 2010 වසරේ සිට අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ක්‍රියාත්මක වේ. මෙමඟින් අඟුණකොලපැලැස්ස සතිපොළ හා නගරය අවට ඒකරාශී වන කසල එක් රැස් කර වෙන් කිරීමේදී නොදිරන කසල (කාඩ්බෝඩ්, ප්ලාස්ටික් , පොලිතින් හා වීදුරු )වෙන් කර, ගබඩා කර අලෙවි කිරීම  සිදු කෙරේ.

 

නොදිරන කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය මඟින් ලැබෙන වාසි

 

  • නොදිරන කසළ අළෙවියෙන් ආදායමක් ලබා ගත හැකි වීම
  • පරිසරයේ සුන්දරත්වය රැක ගත හැකි වීම
  • අවට පරිසරය පිරිසිදුව තබා ගත හැකි විම
  • ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම
  • අපගේ සම්පත් නැවත නැවතත් ප‍්‍රයෝජනයට ගත හැකි විම
  • පහසුවෙන් නොදිරන  ද්‍රව්‍ය නිෂ්පාදනය අඩුකළ හැකිවීම

 

නොදිරන කසළ අලෙවියෙන් ලද ආදායම

 

වර්ෂය

ප්‍රතිචක්‍රීකරණය කරන ලද  ද්‍රව්‍ය අලෙවි කරන ලද  ප්‍රමාණය (kg)

ලැබූ  ආදායම                         රුපියල්

2011

395

3450.00

2012

2949

21190.00

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023